එවක කඹුරුපිටිය ගම්මානයට අයත් නාරන්දෙණිය ප‍්‍රදේශයේ තැනින් තැන ගෙයින් ගෙය තුළ සිසුන් සුළු පිරිසකට අකුරු කරවමින් එදා සිප්සතර හැදෑරීමේ කාර්යය විවිධ අසීරුතා මැද ආරම්භයේදීම ඉටුකර ඇත. අදට ද මෙවන් වූ ගෙවල් වලට උපහාරයක් වශයෙන් ගුරුගෙදර යන ගෞරවාන්විත නාමයෙන් හඳුන්වනු දැක්වීම සුලබය. තැන් තැන්වල පැවති මෙම ඉගැන්වීමේ කාර්යය ඉතා ගෞරවාන්විතව කළයුතු කාර්යක් බව මැනවින් තේරුම් ගත් එවක වැලිගම ප‍්‍රදේශයේ සිට මෙහි පදිංචියට පැමිණි දහනායක මුදලිගේ දෝන එමලිනා මැතිණිය විසින් දැනට නාරන්දෙණියේ පාසල් කඩේ නමින් හඳුන්වන ස්ථානයට යා බද යසදෙණිය නම් වූ ඉඩමේ පොල් අතු පැලක් කුඩාවට තනවා තැන් තැන් වල අකුරු ඉගැන්වූ සියලු සිසුන් එක් තැනකට ගෙන්වා ස්වේච්ඡාවෙන් අකුරු කරවීමට පටන් ගෙන ඇත.
ඉතා කෙටි කාලයක් මෙලෙස අකුරු කරවීමේ කටයුතු කර ගෙන යන අතර එවක ලංකාවේද විධිමත් අධ්‍යාපනය දරුවනට ලබා දීමට ප‍්‍රසිද්ධ නගරවල පාසල් බිහි කරමින් මූලික පියවරයන් ගන්නා අවධියක් වූ හෙයින්, නාරන්දෙණිය ප‍්‍රදේශයේම ප‍්‍රභූ පවුලකට අයත් නිස්සරණධ්‍යාශයෙන් එකල සේවය කළ සේදර කොරනේල් රාළහාමි නම් ශ‍්‍රීමතාණන් විසින් 1886 දී නාරන්දෙණිය ගමේ දරුවනට පමණක් සීමා වූ මෙම ඉගැනුම් අවස්ථාව කඹුරුපිටිය ප‍්‍රදේශය අවට සියලු ගම්මානවල වෙසෙන නූගත් ප‍්‍රදේශවාසීනගේ දරුවනගේ අනාගත සුබ සිද්ධිය උදෙසා නිසි අධ්‍යාපනයක් ලබා දීමෙන් සිය නෙත් පෑදීමේ පුන්‍ය සිතක් පහළ වූයෙන් එවක පැවැති රජයේ අවසරය ඉතා අපහසුතා මැද ලබා ගෙන මෙම ශිල්පායතනය වැඩි දියුණු කර ලීමට මුල් පියවර ගෙන ඇත. සිප්සතර හැදෑරීමට අවස්ථාවක් මෙතෙක් භාග්‍ය නොලැබූ සිසුන් සමග නාරන්දෙණියේ දී අකුරු කරන ලද සිසුන් ද එක් වහලක් යටට ගෙන ඒමෙන් මෙම පින් බිම වන නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භය සනිටුහන් වී ඇත.
එම මුල් යුගයේදී ලන්සි ජාතික සිල්වා නම් මහත්මයකු මෙම ශිල්පායතනයේ පාලනයට යොමු කරන ලද අතර සිසුන් 20 දෙනෙකු රඳවාගනිමින් දිගු පියවරකට යාමට ආරම්භක කැප කිරීම් සිදු කර ඇත. මෙයින් අමන්දානන්දයට පත් සේදර කොරනේල් රාළහාමිගේ පුනරාවතරණයවන් වූ දොන් දාවිත් විජේසිංහ කොඩිප්පිලි නම් වූ කාර්යශූර හා ප‍්‍රතාපවත් බවින් යුත් උදාර ගුරු මහත්මා මෙම ආරම්භ වූ ශිල්පායතනයේ මුල් ගුරු පදවිය හොබවමින් මෙම ශිල්පායතනයේ සංවර්ධනාත්මක කාර්යයකට අත ගසා ඇත. කඹුරුපිටියේ නගරයේ වූ එතුමාගේ අක්කර 1/4 ක පමණ භූමි භාගයක් වන සුන්දර කඳු ගැටයක් මත අඩි 60×20 ප‍්‍රමාණයේ ගොඩනැගිල්ලක්ද මෙම පාසල වෙනුවෙන් තනවා නාරන්දෙණිය යසේවත්ත හි අකුරු කරවූ මෙම ශිල්පායතනය මෙම ස්ථානයේ ස්ථාන ගත කර ඇත. එකල නූගත් ජනයාගේ ගෙන් ගෙට ගොස්, ශිල්ප හදෑරීම සඳහා සිසුන් සංඛ්‍යාව වර්ධනය කරමින් මෙම විද්‍යාලය වෙනුවෙන් සැකසූ අඩිතාලම කෙසේවත් මිල කළ නොහැක. 1906 දී එතුමා මෙම පාඨශාලාවෙන් අස්ව යාමත් සමග මෙහි මුල්ගුරු පදවිය පතළ කීර්තිමත් නාමයෙන් යුත් ටී. ඞී. එන්. සමරනායක මැතිඳුන් විසින් හොබවන ලදී. මෙතුමා විසින් පාසල, පන්සල හා ගම එකතු කරමින් ගම්වාසී ප‍්‍රභූන් මෙහෙයවමින් විද්‍යාර්ථීන්ගේ උද්යෝගය තව තවත් මතු කරමින් සිය අප‍්‍රතිහත ධෛර්යය මෙම පාසල ගොඩනගන්නට කැප කොට ඇත. එහි ඵලයක් ලෙස එවක කඹුරුපිටිය ප‍්‍රදේශයේ ශ්‍රේෂ්ඨ ප‍්‍රභූ පවුලක ඞී. ජේ. විජේසිංහ රාළහාමි නම් වූ දානපති මැතිඳාණන් මෙහෙයවා ගනිමින් මෙම පාසල පිරිමි පාසලක් ලෙසින් දියුණු පමුණු කර ගන්නට කටයුතු කර ඇත. මුල් ගුරු සමරනායක මැතිඳාණන් සිය පාලන කාලයේ දී විදුහලකට අවශ්‍යම වන්නා වූ මානව හා භෞතික සම්පත් සම්පාදනය කරන්නට උත්සාහ ගෙන ඇත.
ඒ අනුව මෙම විද්‍යාලයේ පුස්තකාලයක් ආරම්භ කිරීම,ශිෂ්‍ය සංඛ්‍යාව 400 දක්වා වර්ධනය කිරීම, ක‍්‍රීඩා භූමියක් තනවා ගැනීම,එම යුගයට අවශ්‍ය පරිදි ගොඩනැගිලි සම්පූර්ණ කර ගැනීම.බාල දක්‍ෂ සංවිධානයක් පිහිටුවීම ඉන් කිහිපයකි.
එතුමා විසින් මෙම පාසලේ බිහිකරන ලද බාලදක්‍ෂයින් එංගලන්තයට යවමින් පුහුණුව ලබාදීමට තරම් බල සම්පන්නව කටයුතු කර ඇත. වර්ෂ 1906 සිට වසර 36 ක් තිස්සේ තම සේවා කාලය මෙම විද්‍යාලයීය ඉතිහාසයේ රන් අකුරින් ලියවා තැබීමට වටිනා කීර්තිමත් අවධියක් ලෙස බිහි කළ බවට මේ අනුව පෙනේ.
එම කැප කිරීම උදෙසා එතුමා වාගීෂ ගුරුදේව යන උපාධියෙන් හා මුහන්දිරම් යන ගෞරව නාමවලින් පිදුම් ලැබූ ගුරු චරිතයක් වූහ. ආරම්භයේ සිටම පැවැති අයුරින් බාලකයින් පමණක් ඉගෙනුම ලැබූ මෙම පාසලේ අර්ධ ස්වර්ණ ජයන්ති උළෙල 1936 දී පවත්වා පාසල් ප‍්‍රජාව හා සිසුන් තුළ පැවැති බැඳීම වර්ධනය කර ගනිමින් කටයුතු කර ඇත. ඉන්පසුව 1942 දී එතුමා ටී. ජී. සමරනායක නම් වූ සිය ශිෂ්‍යයාට මුල් ගුරු පදවිය පවරා දෙන ලදී. මෙකල ලොවම යුධ බියෙන් භීතියට පත් කළ අඳුරු යුගයක් වන දෙවන ලෝක මහා සංග‍්‍රාමයේ තෙද බල ලංකා මාතාවට දැනෙන අවධියක පරිපාලන කටයුතු ගෙනයාම දැඩි අපහසු වුවත් ඔහු විසින් තම පාසලට ගුරුවරු 10 දෙනෙකුගේ සේවය ලබාගනිමින් ශිෂ්‍ය සංඛ්‍යාව 424 දක්වා වර්ධනය කර ගනිමින් අන් විද්‍යාල පරයමින් කටයුතු කිරීම විශේෂයකි.
1947.12.02 දින ස්වභාෂා පාඨශාලාවක්ව පැවති මෙම පාසල ද්විභාෂා පාඨශාලාවක් බවට පත් කරන ලදී. එහි ප‍්‍රථම විදුහල්පති ලෙසින් ඞී. වී. මායාදුන්නේ මහතා පත්ව ආහ. ඒ අනුව මෙතෙක් වූ ජූනියර් විද්‍යාලය සීනියර් විද්‍යාලය නමින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත. මෙලෙස පිරිමි පාසලක් වශයෙන් තිබූ මෙම පාසල ඉන් ඔබ්බට ගොස් මාතර දිස්ත‍්‍රික්කයේ ඉන්ස්පෙක්ටර් ස්කූල් තත්ත්වයට පත් ප‍්‍රථම පාසල ද විය. 1960 දශකය දක්වා පිරිමි ළමුන්ට වෙන්ව තිබූ මෙම පාසල ඉන් පසු මිශ‍්‍ර පාසලක් බවට පත්ව ඇත. මෙලෙස පැමිණි ගමන් මගෙහි සුවිශේෂී සංවර්ධනයක් ලෙස මහා විද්‍යාලයක් බවට මෙම පාසල පත්වීම මෙම ප‍්‍රදේශයටම ලද ගෞරවයක් විය. එනමුදු 60 දශකයේ විද්‍යාලයේ සුවිශේෂී සිදුවීම් පිළබඳ සැලකිය යුතු වාර්තා ගත වීමක් නොමැත. පණ්ඩිත ගතාරේ සුගතපාල මා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ගුරු දෙගුරු සමිතිය විසින් අද දිනයේද සිසුන් හා ගුරුවරුන් දෛනිකව වැඳුම් පිදුම් හා ආගමික වතාවත් සිදු කරන බුදු මැදුර එකල ප‍්‍රධාන ශාලාව නමින් හඳුන්වන ලද ගොඩනැගිල්ල අසලින්ම තනවා 1966.07.08 වන දින විද්‍යාලය වෙත භාරදී ඇත. කෙසේ වුවද 70 දශකය ආරම්භය මෙම විද්‍යාලය පෝෂණය කරන්නක් නොවීය. පහළම තත්ත්වයට ඇද නොවැටුනත් ප‍්‍රදේශයේ වෙනත් දියුණු පාසල් හා සසඳන විටදි එතරම් ජනප‍්‍රිය තලයක නොවූ බව දැන ගන්නට ඇත. විද්‍යාලයීය මානව හා භෞතික සම්පත් අඩුපාඩුකම් හා විනය පිරිහීම පෙරට එමින් පැවැති අවධියෙක පැවැති රාජ්‍ය පෙරලියත් සමග විදුහල්පති ලෙස සිය කාර්යය ආරම්භ කළ ඊ. ඒ. සමරසිංහ මැතිතුමා ගුරු හිඟය මග හරවා අංග සම්පූර්ණ කර ගෙන ඔවුන් තුළ දැවැන්ත සමගියක් හා උද්යෝගයක් වර්ධනය කර ගෙන වේවැල අතට ගෙන සිසු විනය යහපත් ලෙසින් ක‍්‍රමානුකූලව ගොඩ නගා ඇත. එමෙන්ම විද්‍යාලයේ ක‍්‍රීඩා පිටිය ලෙසින් භාවිත කළ භූමියේ අඩි 100×20 ප‍්‍රමාණයේ ගොඩනැගිල්ලක් තනවා ඇත. විද්‍යාලයට එපිට ඉදිරිපසින් වු කඳු ගැටය මත ක‍්‍රීඩා පිටියක් තනවන ලද අතර එහි පසෙකින් අඩි 100×20 සහ අඩි 80×20 ගොඩනැගිලි 02 ක් සාදවන ලදී. එවක සිටි ගුරුවරුන්ද විදුහල්පතිතුමාට ධෛර්යයක් සපයමින් විද්‍යාලයේ අභිවෘද්ධිය තකා සිසුන් සමග සංවිධානය වී ගම පුරා ඇවිද පිං වී කුරුණිය එක් ගස් කර ගෙන විත් විකුණා ලබා ගත් මුදලින් අරමුදලක් පිහිටුවා විද්‍යාලයට යාබද කුඹුරින් මැටි ගොඩ දමා ගඩොල් නිපදවා ගෙන විද්‍යාලයේ සෞන්දර්ය අංශය සඳහා වේදිකාවක් සහ ඊට යාකර අඩි 20 ඞ 20 ප‍්‍රමාණයේ පංති කාමරයන් තනවන ලදී. චිත‍්‍රපට දර්ශන පෙන්වා පුස්තකාලයට පොත් ලබා ගෙන දී ඇත.
එකල මෙම විදුහල මහා විද්‍යාලයක් වූ අතර අ පො ස උසස් පෙළ කලා විෂයයන් පමණක් ඉගැන්වූ මෙම විද්‍යාලයේ විද්‍යා හා වානිජ අංශයන්ද ආරම්භ කර සිසුනගේ අභිවෘද්ධිය වඩාත් පුළුල් කළහ. මෙම කටයුතු සාර්ථකව ඉටු කිරීමට පිටුපසින් සිට බලවේගයක් සේ ශක්තිය සපයන ලද්දේ එවක කඹුරුපිටිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඊලියන් නානායක්කාර මැතැතුමා බවද නොරහසකි. විවිධ යුග හමාර කරමින් ඉදිරියට පැමිණි මෙම මහා විද්‍යාලය සුවිශේෂී පරිවර්තන අවධියකට යොමු වීමක් වන්නේ 1977 කඹුරුපිටිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙස පත්ව ආ සාමවිනිසුරු වෛද්‍යාචාර්ය දිවංගත ඞී. ඊ. මලවරආරච්චි මැතිතුමාගේ ක‍්‍රියාදාමයන් නිසාවෙනි.
එම මැතිඳුන් උපන් මෙම පින්බිමට සිදුකරන ලද මෙහෙවරක් ලෙස එම ස්ථානයේ විශාල බාධාවක්ව පැවති විද්‍යාලය ඉදිරිපස වූ කඳුගැටය මත වූ සියලු එතුමාට සිය මන්ත‍්‍රී ධූරය අත්හරින්නට සිදු වීමයි. එලෙස ඞී. ඊ. මලවරආරච්චි මැතිඳුන් විසින් මෙම විද්‍යාලය වෙත ඉඩම් පවරා දීමෙන් අක්කර 19 ක පමණ භූමි භාගයකට හිමිකම් ලද මුත් අවාසනාවකට මෙන් අද අප විද්‍යාලය භුක්ති විඳිනයේ අක්කර 09 කට ආසන්න ප‍්‍රමාණයකි. පසු ගිය සමය තුළ එම මන්ත‍්‍රීතුමා ඉටු කළ එම මෙහෙය, තුටිටුවකටවත් අගය නොකර වෙනත් ස්ථානයක තිබූ කඹුරුපිටිය බස් නැවතුම් පොල ඉදි කිරීම, එම බස් නැවතුම අසලින්ම කඹුරුපිටිය සිට විද්‍යාලයට අත් කර දුන් ඉඩම් මැදින් කිරින්ද දක්වා මාර්ගයක් තනන ලදින් එක් පසෙකට වෙන් වූ අක්කර 02 කට වැඩි භූමි ප‍්‍රමාණයක් අනවසරයෙන් පරිහරනයට ගෙන ඉරිදා මහජන පොල ඉදි කිරීම සහ පෞද්ගලික අයෙකුගේ මූලික ක‍්‍රියාවක් ලෙසින් අවසානයේ බෞද්ධ සිද්ධස්ථානයක් ඉදිකිරීම මේ වන විට සිදු කර ඇත.
කඹුරුපිටිය නගර සංවර්ධනය මුවාවෙන් සිසුනගේ අයිතිය පටු කිරීමට බලධරයින් ගන්නා මෙම ක‍්‍රියාදාමය අනාගතයේ විද්‍යාලය මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලුවක් වනු නොඅනුමානය. එසේම අසූව දශකයේ පාසල හා ප‍්‍රභූ ජන සම්බන්ධය තහවුරු කර ගැනීමේ ක‍්‍රියාදාමයක මල් ඵල ගැනීමක් ලෙස රුහුණු උදානය නම් සංවිධානයේ විධායක අධක්‍ෂවරු තිදෙනාගේ කැපකිරීම් මත මෙම විදුබිමේ ඉදිකර ඇති උපාලි විජයවර්ධන සම්මන්ත‍්‍රණ ශාලාව සැලකේ. කඹුරුපිටිය, මිරිස්වත්ත වලව්වේ විසූ ලොරැුයිනා විජේසිංහ නම් සිය මිත්තණිය සිහිගැන්වීම හා ළමා කාලයේ මූලික අත්පොත් අකුරු කර වූ විදුබිමට කරන ලද උපහාරයක් ලෙස ප‍්‍රදේශයේ ප‍්‍රභූවරයකු වූ දිවංගත උපාලි විජයවර්ධන මැතිඳුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද දැවැන්ත උපාලි විජේවර්ධන සම්මන්ත‍්‍රණ ශාලාව විද්‍යාලයට ඒකාලෝකයක්ම වේ. එම ශාලාවේ සියලු කටයුතු නිමා කිරීමට පෙර උපාලි විජයවර්ධන මැතිඳාණන් හදිසියේ අභාවප‍්‍රාප්ත වීමෙන් එතුමාණන්ගේ දයාබර භාර්යාව වු ලක්මිණී රත්වත්තේ විජයවර්ධන මැතිණිය ඉතිරිය සම්පූර්ණ කරමින් 1985.07.20 වන දින මෙය විද්‍යාලයීය ¥ දරුවන්ට සතු කරන ලදී. විශාලතම වේදිකාවකින් සමන්විත ආසන 1000 කට පහසුකම් ඇතිව, තවත් පහසුකම්වලින් හෙබි මෙම සම්මන්ත‍්‍රණ ශාලාව ලංකාවටම මිණි පහනකි.
පසුව 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මෙම විද්‍යාලයේ පැවැත්වූ රාජ්‍ය සාහිත්‍ය ජාතික උලෙලට සමගාමීව සම්මන්ත‍්‍රණ ශාලාවට රුපියල් ලක්‍ෂ 20 ක වියදමින් වේදිකා තිරයක් සවි කරන ලදී. අසූව දශකයේ මුල් කවනවානුවේදීම මෙම විද්‍යාලය වෙත, රජයේ කිසිදු අනුග‍්‍රහයක් නොලබා නාරන්දෙණිය ග‍්‍රාම සංවර්ධන සමිතිය විසින් ප‍්‍රදේශවාසී ධන පරිත්‍යාගශීලින්ගේ සහයෙන් ඉදි කළ ගොඩනැගිල්ලක් හා හොරපාවිට විජය සුන්දරාමාධිපති පණ්ඩිත නාරන්දෙණියේ පඤ්ඤරතන ස්වාමීන් වහන්සේ සහ වෙළඳ ව්‍යාපාරික දානපති ජේ. පී. එච්. සෙනෙවිරත්න සොහොයුරන්ද උපන් බිමට කරන කෘතඥතාවයක් ලෙසින්ද පංති පැවැත්වීම සඳහා තවත් ගොඩනැගිල්ලක්ද ඉදිකර මෙම විද්‍යාලය වෙත 1983.07.30 දින පරිත්‍යාග කරන ලදී. කෙසේ වුවද මෙවන් පරිත්‍යාගශීලීන් ගේ උදව් ඇතිව 1980 මුල් වකවානුවේ දී යහපත් ලෙසින් සිසුනට මග පෙන්වීමක් සිදු කරමින් මෙම විද්‍යාලය ඉදිරි ගමන් මගෙහි හොඳින් ගමන් කර ඇත.
1985 වර්ෂයේදී මහපොල ශිෂ්‍යත්ව සංවර්ධනය උදෙසා එවක ගරු වෙළඳ සහ නාවික අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සංකල්පයක් වන මහපොල ප‍්‍රදර්ශනය මෙම විද්‍යාලයේදී පවත්වන ලදී. එහෙත් මුළු රටම වෙලා ගත් භීෂණයේ සෙවනැලි හොල්මන් කිරීමත් සමග විද්‍යාලයේ සියලු කටයුතු ආ මග පසු බැස්මකට ලක් විය. එහෙත් එම පසු බෑම අවම කර ගනිමින් ඉතා කෙටි කාලයකදී අතිගරු ජනාධිපති ආර්. පේමදාස මැතිතුමාගේ සංකල්පයක් වන ගම් උදාව සංවර්ධන වැඩ සටහන කඹුරුපිටිය මුල් කර ගෙන දියත් වීම නිසා මෙම විද්‍යාලය කෙරෙහිද කාගේත් නෙත් යොමු විය.ගම් උදාව නම් ජාතික මහා උත්සවය නිමිත්තෙන් අප විද්‍යාලය වෙත නවීකරනය කරන ලද කාමරයක යන්ත‍්‍ර 15 කින් සමන්විත පරිගණක උපකරණ කට්ටලයක්ද පෙරදිග තූර්යවාදක කණ්ඩායමක් සැකසීමට භාණ්ඩ කට්ටලයක්ද ක‍්‍රීඩා පිටිය නවීකරණය කිරීමද ඇතුන්‍දා සංවර්ධන කාර්යය රාශියක් ඉටු කර ඇත. විදුහල්පති පී. ජී. ධර්මදාස මහතා විදුහල්පති ලෙසින් කටයුතු කරන අවධියේද විද්‍යාලය පියවර ගණනක් ඉදිරියට ගෙන ගොස් ඇත.
ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ඉල්ලීම පරිදි 1995.09.25 වන දින මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට එවක අධ්‍යාපන අමාත්‍ය ගරු රිචර්ඞ් පතිරණ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ප‍්‍රකාශ කරන ලදී. ඊට සමගාමීව 1996 දී 90×25 දෙමහල් ගොඩනැගිල්ලක්ද 1998 දී අ.පො.ස උසස් පෙළ විද්‍යාගාර සඳහා 90×25 තෙමහල් ගොඩනැගිල්ලක්ද ලබා දෙන ලදී.
මෙම විද්‍යාලය ආරම්භව 2011 වර්ෂයට අවුරුදු 125 ක් ගත විය. මෙම උදාර වර්ෂය සැමරීමේ උත්සවය ගෞරවාන්විතව සිදු කිරීමට අප විද්‍යාලයේ ගුරුවරුනට සිසුනට දෙමාපියනට සහ ආදි ශිෂ්‍යයනට විශාල උනන්දුවක් විණ. ඒ අනුව 2011 පෙබරවාරි 15 වන දින අධ්‍යාපන අමාත්‍ය ධූරන්දර ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කඹුරුපිටිය ආසන සංවිධායක හා මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගරු හේමාල් ගුණසේකර මැතිතුමාගේ හා දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ කිත්සිරි ලියනගම මැතිතුමාගේ සහභාගිත්වයෙන් එම උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදින. වර්ෂ 125 සපිරීමේ සමරු පලකය ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ දෑතින් විවෘත විය. එදින උත්සව අවස්ථවේදී මෙම විවිධ වර්ෂ වලදී අති විශාල ලෙසින් විද්‍යාල උන්නතියට මහත් මෙහෙවරක් ලෙසින් සේවය කරන ලද දැනට ජීවත්ව සිටින ආචාර්ය ආචාර්යවරියන් 12 දෙනෙකු හට සම්මාන පිරිනැමීමද සිදු කළහ. එදින එවන් ගෞරවාන්විත උත්තමාචාරයක් ලද විශ‍්‍රාමික සුවයෙන් පසුවන ලද එම ආචාර්ය මහත්ම මහත්මීන්ගේ දෙනෙතින් සතුටු කඳුළු ඇද හැලුණි. එම සත් ගුණවත් ආචාර්ය මහත්ම මහත්මීන්ගේ නාම ලේඛනය ඔවුනට උපහාරයක් වශයෙන් ඉදිරිපත් කරමු.
- අති පූජ්‍ය මහාචාර්ය ගතාරේ ධම්මපාල මා හිමිපානන් වහන්සේ
- විශ‍්‍රාමලත් විදුහල්පති ඊ. ඒ. සමරසිංහ මැතිතුමා
- විශ‍්‍රාමලත් විදුහල්පති පී. ජී. ධර්මදාස මහතා
- විශ‍්‍රාමලත් විදුහල්පතිනි එච්. ඒ. පී. එල්. තිලකරත්න මැතිණිය
- විශ‍්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති එස්. සිරිබද්දන මැතිතුමා
- විශ‍්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති එච්. උපසේන මැතිතුමා
- විශ‍්‍රාමලත් පාඨශාලාචාර්ය ආර්. ඒ. සී. ගුණතිලක මැතිතුමා
- විශ‍්‍රාමලත් පාඨශාලාචාර්ය ජී. ඒ. අමරදාස මැතිතුමා
- විශ‍්‍රාමලත් පාඨශාලාචාර්ය ජේ. පේමදාස මැතිතුමා
- විශ‍්‍රාමලත් පාඨශාලාචාර්ය එච්. එම්. ඊ. ජයසේන මැතිතුමා
- විශ‍්‍රාමලත් පාඨශාලාචාර්ය කේ. විජේධීර මැතිතුමා
- විශ‍්‍රාමලත් පාඨශාලාචාරිණී ලක්‍ෂමී සෙනෙවිරත්න මැතිණිය
දකුණු දිග ලංකාවේ මෙවන් කාලයක් පුරාවට නාරන්දෙණිය විද්‍යාලය ලෙසින් එම නාමය දසත පතුරුවා ලන්නට එදා මෙදා තුර එහි සේවය කළ සියළුම විදුහල්පතිවරු සහ සියළුම ගුරුවරු දායක වී ඇති බව ගෞරවයෙන් මතක් කරමු. එම කැල හඳුන්වා දීම ඉතාමත් උගහට කාර්යයක් වන නමුදු දැනට වාර්තා ගත වී ඇති තොරතුරු මත උපුටමින් 1947 වර්ෂයේ ද්වි භාෂා පාසලක් ලෙසට පරිවර්තනයත් සමගින් මෙම විද්‍යාලයෙන් නෙත් පාදා ගැනීමට එක් වූ දරුවනගේ මෙහෙවරට එක් වූ විදුහල්පතිවරුන් හඳුන්වා දීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
|
නම |
කාලය |
තනතුර |
|
ඞී. වී. මායාදුන්නේ මහතා |
1947.12.02 - 1955.01.20 |
විදුහල්පති |
|
ඞී. එම්. අබේගුණවර්ධන මහත්මිය |
1955.01.20 – 1955.01.21 |
විදුහල්පති |
|
එන්. වීරසූරිය මහතා |
1955.01.21– 1955.04.01 |
වැඩබලන විදුහල්පති |
|
ඞී. සී. බාලසූරිය මහතා |
1955.04.01 – 1955.04.10 |
වැඩබලන විදුහල්පති |
|
ජී. ඒ. මෙන්ඩිස් මහතා |
1955.04.10 - 1956.01.03 |
විදුහල්පති |
|
එස්. කේ. නෙත්තානන්ද මහතා |
1956.01.03 – 1957.05.10 |
විදුහල්පති |
|
කාබුල් මහතා |
1957.05.10 – 1962.04.25 |
විදුහල්පති |
|
ඒ. වෙල්ලප්පිලි මහතා |
1962.04.25 – 1962.02.09 |
වැඩබලන විදුහල්පති |
|
ජේ. ජී. සමරසිංහ මහතා |
1962.02.09 – 1963.01.07 |
විදුහල්පති |
|
පූජ්‍ය ගතාරේ සුගතපාල හිමි |
1963.01.07 – 1965.08.05 |
විදුහල්පති |
|
එම්. බී. පි. ප‍්‍රනාන්දු මහතා |
1965.08.05 – 1968.07.01 |
විදුහල්පති |
|
ඞී. සී. විදානපතිරණ මහතා |
1968.07.01 – 1971.01.24 |
විදුහල්පති |
|
ඊ. ඒ. සමරසිංහ මහතා |
1971.01.24 – 1977.07.01 |
විදුහල්පති |
|
එස්. ඔබේසේකර මහතා |
1977.07.01- 1977.09.06 |
විදුහල්පති |
|
ඞී. ජේ. ඒ. සිරිවර්ධන මහතා |
1977.09.06 – 1980.03.11 |
විදුහල්පති |
|
කේ. විජේධීර මහතා |
1980.03.11 – 1982.01.01 |
වැඩබලන විදුහල්පති |
|
ඒ. එම්. ලියනගේ මහතා |
1982.01.01 – 1988.09.06 |
විදුහල්පති |
|
ඞී. එම්. ගුණවර්ධන මහතා |
1988.09.06 – 1988.12.02 |
විදුහල්පති |
|
බි. මුදුගමුව ආරච්චි මහතා |
1988.12.02 – 1990.02.12 |
විදුහල්පති |
|
පූජ්‍ය මාවනානේ දේවානන්ද හිමි |
1990.02.12 – 1994.10.20 |
විදුහල්පති |
|
පී. ජී. ධර්මදාස මහතා |
1994.10.20– 1998.12.24 |
විදුහල්පති |
|
ඒ. විජේගුණසේකර මහතා |
1998.12.24 – 1999.02.09 |
විදුහල්පති |
|
වයි. ඒ. සුමතිපාල මහතා |
1999.02.09 – 2003.06.01 |
විදුහල්පති |
|
ඇන්ඩෲ නානායක්කාර මහතා |
2003.06.01 – 2003.11.10 |
විදුහල්පති |
|
එච්.ඒ.පී.එල්. තිලකරත්න මහත්මිය |
2003.11.10 – 2006.06.05 |
විදුහල්පති |
|
සුභාෂිණි සිරිබද්ධන මහත්මිය |
2006.06.05 – 2007.04.10 |
විදුහල්පති |
|
ඇන්ඩෘ නානායක්කාර මහතා |
2007.04.10 – 2009.05.28 |
විදුහල්පති |
|
ගාමිණි අමදෝරු මහතා |
2009.05.28 – 2012.08.31 |
විදුහල්පති |
|
ගම්මැදගම ඥානීස්සර හිමි |
2012.08.31 – 2013.03.13 |
විදුහල්පති |
|
ඩි. ලාල් ප‍්‍රියදර්ශන |
2013.03.13 සිට මේ දක්වා |
විදුහල්පති |
මොවුන් සැමගේ ඇප කැප වීම් විද්‍යාලයේ අභිවෘද්ධියට හේතු විය.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද්විතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ යටතේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීම සදහා 2013 නොවැම්බර් මස 01 දින මුල්ගල් තබන ලද අතර වැඩ නිමවීමෙන් අනතුරු 2015 මැයි මස 28 වන දින විවෘත කරන ලදි. මෙම විද්‍යාගාරය අඩි 50 × 30 වන දෙමහල් ගොඩනැගිල්ලකි. එක් මහලක් කොටස් දෙකකින් සමන්විත වේ. විද්‍යාගාර අභ්‍යන්තර සැලසුම අනුව වර්ග Type 1 හා Type 2 යනුවෙන් වර්ග 2 කි. මින් Type 2 වර්ගයේ තාක්ෂණික විද්‍යාගාරය අප වෙත ලැබිණි. ඒ අනුව බිම් මහලේ ගණිතාගාරයකුත් දුරස්ථ අධ්‍යාපන ඒකකයකුත් වන අතර පළමු මහලේ පරිගණක විද්‍යාගාරයත් භාෂාගාරයත් අංග සම්පූර්ණව ලැබී ඇත.
එසේම අධ්‍යාපන අමාත්‍යංශය මගින් ද්විතියික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තාක්ෂණික පීඨය ඉදිකිරීම සදහා 2014.06.16 වන දින මුල්ගල් තබන ලදි. තෙමහල් ගොඩනැගිල්ලක් වන එය උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන් සදහා ඉදිවන ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිලි දෙකම විද්‍යාලයේ දුවා දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ලැබීම මහත් භාග්‍යයකි.
එසේම අධ්‍යාපන අමාත්‍යංශය මගින් ද්විතියික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තාක්ෂණික පීඨය ඉදිකිරීම සදහා 2014.06.16 වන දින මුල්ගල් තබන ලදි. තෙමහල් ගොඩනැගිල්ලක් වන එය උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන් සදහා ඉදිවන ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිලි දෙකම විද්‍යාලයේ දුවා දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ලැබීම මහත් භාග්‍යයකි.
2017 වර්ෂයේදී විද්‍යාලයේ උදෑසන රැස්වීම් අංගනයේ අලංකාර ක්‍රමවත් වේදීකාවක් ඉදිකර ගැනීමට සමත් විය. ගැහැණු හා පිරිමි සිසුන්සඳහා වෙන වෙනම අංග සම්පූර්ණ වැසිකිලි පද්ධති 2ක් ඉදිකිරීමට විද්‍යාලයේ සනීපාරක්ෂාව වර්ධනය උදෙසා ඉවහල් විය.
විද්‍යාලයීය ක්‍රීඩා පිටිය රු. 7,000,000 ක වියදමින් පස් පුරවා පිළිසකර කර ක්‍රීඩා පැවැත්වීමට උචිත තත්ත්වයට පත් කරන ලදී.
දිවා රෑ ක්‍රීඩා කළ හැකි වොලිබෝල් ක්‍රීඩා පිටිය සැකසීම ආරම්භ කරන ලදි. තව ද ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය යටතේ පැති විකට්ටුවක් සකස් කරන ලදි. එසේම ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් විශාලැති බොක්ෂින් ක්‍රීඩාගාරයක් ඉදිකරන ලදී.මෙම බොක්ෂිං ක්‍රීඩාගාරය දකුණු පළාතේ පිහිටා ඇති එකම බොක්ෂින් ක්‍රීඩාගාරය වන අතර ශ්‍රී ලංකාවේ පාසලක් තුළ ඉදිකර ඇති එකම බොක්ෂිං ක්‍රීඩාගාරය ද මෙය වේ.
පාසල් වල ජලය හා සනිපාරක්ෂක කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන ලබා දෙන ලද 15’. 07’’ X 20’ .5’’ විශාලත්වයෙන් යුත් වැසිකිලි පද්ධතියක් ඉදිකරනු ලැබිණි.
2017 පාසල් ඉතිහාසයේ සුවිශේෂි වැදගත්කමක් සනිටුහන් විය. 2017 අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් ශ්‍රී ලංකාවේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට ප්‍රගති ඉෂාන් මධුෂංක සිසුවා සමත් වීම විශාල ජයග්‍රහණයකි.
2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේ තාක්ෂණවේදය විෂය ධාරාවේ ජෛවපද්ධති තාක්ෂණවේදය අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි ශිෂ්‍යාව සමත් වීම පාසල් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කිරීමට හැකි විය.
තවද 2018 වසරේ ද අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකාවේ හොඳම විදුහල්පති ඇගයීමේ ක්‍රියාවලියෙන් අප විද්‍යාලයේ විදුහල්පති ඩි.එල්. ප්‍රියදර්ශන මහතා හොඳම විදුහල්පති ලෙස සම්මානයට පාත්‍ර වීම විද්‍යාලයේ ගෞරවයට හේතු වූ බව සටහන් කරනුයේ ඉමහත් අභිමානයෙනි.